ගාල්ල බොනවිස්ටා විද්‍යාලයය ඇතුලු විද්‍යාල හතරක් ජාතික පාසල් බවට පත් කෙරේ  

මුද්‍රණය

 අවුරුදු දෙසීයකට අධික ඉතිහාසයකට හිමිකම් කියන ගාල්ල බොනවිස්ටා විද්‍යාලයය හා තවත් විදුහල් තුනක් ජාතික පාසල් බවට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යනීති‍්ඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව පියවර ගෙන තිබේ

 මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයය, මඩකලපුව, වාලච්චේනයි හින්දු විද්‍යාලයය සහ අම්පාර, ඉරක්කාමම් අල්/අෂ්රොප් මධ්‍ය මහා විද්‍යාලයය ජාතික පාසල් බවට පත්වන අනෙක් විදුහල් තුනයි.

1814 වසරේ දී ආරම්භ කරන ලද ගාල්ල බොනවිස්ටා විදුහල 2017 වසර වනවිට ශිෂ්‍ය සංඛ්‍යාව 17 කට සීමා වී වැසී යන තත්ත්වයට පත්ව තිබිණි.

 විදුහලේ ඵෙතිහාසික අගය තේරුම්ගත් අධ්‍යාපන අමාත්‍ය නීති‍ඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟ පෙන්වීම හා උපදෙස් පරිදි විදුහල සංවර්ධනය කරනු ලැබීය. ආදිශිෂ්‍ය  සංගමය, පාසල් සංවර්ධන සමිතිය සහ පාසලට සහය දක්වන්නන්ගේ ද සහයෝගය ඇතිව මේ වනවිට විද්‍යාලය සීඝ්‍ර දියුණුවක් ලබා ඇත. ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක, මහාගත්කරු මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය සෙනරත් පරණවිතාන, ආචාර්ය ඒ.ටී. ආරියරත්න, ආචාර්ය එඩ්වින් ආරියදාස, වැනි සුප්‍රකට පුද්ගලයන් මෙහි ආදි ශිෂ්‍යයෝ අතර වෙති.

මාලදිවයින් ජනාධිපති මව්මුන් අබ්දුල් ගයුම් මහතා ද බොනවිස්ටා විදුහලේ ආදි සිසුවෙකි. හෙතෙම පාසල් සිසුවකුව සිටිය දී 1948-1949 කාලයේ මෙරට වාසය කරන විට බොනවිස්ටා විදුහලේ ඉගෙනුම ලැබ ඇත.

පළාත් සභා යටතේ පවත්නා රජයේ පාසල් ජාතික පාසල් බවට පත් කිරිමේ දී සපුරාලිය යුතු නිර්ණායක පාදක කර ගනිමින් මෙම පාසල් ජාතික පාසල් බවට පත් කර ඇත. ඒ අනුව, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සහ පළාත් ආණ්ඩුකාරවරයාගේ එකඟතාවත්, අදාළ එක් එක් පාසල්වල සේවයේ නියුතු සියලු ම අධ්‍යයන හා අනධ්‍යයන කාර්යමණ්ඩලවල සාමාජිකයන්ගේ ද එකඟතාවත් මත මෙම පාසල් ජාතික පාසල් බවට පත් කිරීමට කටයුතු යොදා තිබේ.

කිසියම් හේතුවක් මත මෙම පාසල් ජාතික පාසලක් ලෙස රජයට පවරා ගැනීම සම්බන්ධ ව එකඟතාව පළ නොකරන අධ්‍යයන හා අනධ්‍යයන සාමාජිකයින් යම් පාසලක සිටී නම් ඔවුන් වසර 3 ක සේවා කාලයකින් පසු පළාත් රාජ්‍ය සේවයට මුදාහැරීමට ද අවස්ථාව සලසා ඇත.

අලුතින් ජාතික පාසල් ලයිස්තුවට එක්වන මෙම පාසල් හතරත් සමඟම දැනට ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ පවත්නා ජාතික පාසල් සංඛ්‍යාව 374 දක්වා ඉහළ නැංවෙයි.