02 ඔක් 2017

සියලු පාසල් දරුවන් ආවරණය කරමින් ‘සුරක්ෂා’ සිසු රක්ෂණය ක්‍රියාවට නැංවෙයි

මුද්‍රණය

su 1නිරෝගී සෞඛ්‍යසම්පන්න අනාගත පරපුරක් මෙරට පාසල් පද්ධතිය තුළින් ගොඩනැඟීමේ අරමුණින් ‘සදා සුරකිමු දැයේ දරුවන්’ තේමාවෙන් ජාතික මට්ටමින් හඳුන්වා දෙන ලද සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහනේ නිල සමාරම්භක උත්සවය පසුගිය දා (02) අරලියගහමන්දිරයේ දී පැවැත්වුණා. ඒ, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමඟ එක්ව මෙම රක්ෂණ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන ලද අතර,  ඔක්තෝබර් මස පළමු වැනිදාට යෙදුණු ලෝක ළමා දිනයේ සිට මෙය බලගන්වනු ලැබුවා. රජයේ පාසල්,  ආධාර ලබන පුද්ගලික පාසල්, ආධාර නොලබන පුද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල්, හා පිරිවෙන් ද ඇතුළුව, ශ්‍රී ලංකාවේ පාසල් 11242 ක් තුළ අධ්‍යාපනය ලබන,  වයස අවුරුදු 5 සිට 19 දක්වා වූ පාසල් යන වයසේ  සියලු දරුවන් මෙම රක්ෂණාවරණයට ඇතුළත් ව සිටිනවා.

රටේ දරුවන් ක්‍රියාශීලී නිරෝගී පිරිසක් ලෙස නඟාසිටුවන්නටත්, විශේෂයෙන් ම ඔවුන්ගේ සෞඛ්‍යසම්පන්න දිවිපෙවෙත වඩාත් සුරක්ෂිත කරන්නටත් මේ හරහා මහඟු පිටුබලයක් සැලසෙන බවත්, මෙම උදාර ජාතික සද්කාර්යයට අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් නායකත්වය ලබාදීමට හැකිවීම සතුටට කරුණක් බවත් මෙහි දී අදහ‍‍‍‍‍‍ස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළා.

රක්ෂණයකදී  රක්ෂණ සමාගමට නීතානුකූල කොමිස් මුදලක් හිමි වන අතර , අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් තමා විසින්  කරන ලද ඉල්ලීම ප්‍රකාරව එම මුදලින් වෙනම අරමුදලක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ද  අමාත්‍යවරයා මෙහි දී අනාවරණය කළා. ඒ අනුව, සුරක්ෂා රක්ෂණ ක්‍රමය යටතේ ආවරණය නොවන පිළිකා, ඇට මිදුලු බද්ධ කිරීම වැනි රෝග හා විශේෂිත සැත්කම් සඳහා ආධාර ලබාදෙන ජනාධිපති අරමුදල වැනි අරමුදලක‍් ලෙස අතිදුෂ්කර ආර්ථික මට්ටම්වල පසුවන මව්පියන්ගේ දරුවන්ගේ සෞඛ්‍ය  හා වෛද්‍ය අවශ්‍යතා සඳහා ආධාර ලබාදීම පිණිස මෙම අරමුදල යොදාගත හැකිබව බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

සුරක්ෂා සිසු රක්ෂණය වෙනුවෙන් කරන සියලු ගෙවීම් රජයෙන් දරන අතර, දරුවන්ගේ දෙමව්පියන්ට මේ සඳහා කිසිම ගෙවීමක් කරන්නට සිදු වන්නේ නැහැ. මේ සඳහා රජයේ අයවැය යෝජනා යටතේ 2017 වසර සඳහා රුපියල් බිලියන 2.7 ක් හෙවත් මිලියන 2700 ක් මූලිකව වෙන් කර තිබෙනවා.

මෙම සද්කාර්යය වෙනුවෙන් උරදුන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවටත්, වඩාත් නම්‍යශීලී වෙමින් මනා සම්බන්ධීකරණයක් පවත්වාගනිමින් ඒ සඳහා මැදිහත් වූ රක්ෂණ සංස්ථාවේ සභාපතිතුමන්ටත් කෘතවේදී ස්තුතිය පළ කළ අමාත්‍යවරයා, මෙම වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාවට නංවන්නට දායක වී සිටින සියලු පාර්ශවයන් වෙත ද ස්තුතිය පිරිනැමුවා. මෙම අවස්ථාවට කතානායකතුමන් ඇතුළු මැතිඇමතිවරුන් රැසක් ද අධ්‍යාපන ලේකම්තුමන් ප්‍රමුඛ ජ්‍යේෂ්ඨ අධ්‍යාපන නිලධාරීන් රැසක්  ද එක්ව සිටියා.   su 2su 4su 5su 6su 7su 8su 9su 10su 12su 13su 14su 16

Twitter