01 නොවැ 2017

අවුකන පිළිමය ආශ්‍රිත ප්‍රදේශයේ අකුණු අනතුරු වැළැක්වීමට පියවර ගන්නැ’යි - අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් නිලධාරීන්ට උපදෙස්

මුද්‍රණය

23158314 10203654659604090 509321138 oඅවුකන පිළිමය ආවරණය කරමින් ඉදිකර ඇති යකඩ තහඩු සහිත වහලය හේතුවෙන් එම ස්ථානයට අකුණු පතිත වීමේ අවදානමක් පවතින බවට ලද තොරතුරු අනුව ඒ සම්බන්ධයෙන් වහා පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට සහ අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

මේ දිනවල පවත්නා දැඩි වර්ෂාව සහිත කාලගුණ තත්වයත් සමඟ අදාළ ප්‍රදේශයට වැඩි වශයෙන් අකුණු අනතුරු පැවතීමේ අවදානමක් පවතින බවට අවුකන රජමහා විහාරාධිපති හිමියන් ද ප්‍රකාශ කොට තිබුණා.

මෙවැනි ලෝක පූජිත බෞද්ධ උරුමයන් රැකගැනීම සම්බන්ධව සියලු දෙනා වගකීමෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළ අමාත්‍යවරයා, මේ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග  පිළිබඳ කඩිනම් වාර්තාවක් තමා වෙත ලබාදෙන ලෙස ද පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී බී මණ්ඩාවල මහතාට උපදෙස් ලබාදුන්නා.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් කරුණු සොයාබැලීම සඳහා අදාළ විශේෂඥ කණ්ඩායමක් අනුරාධපුරයට පිටත් කර යැවීමට පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී බී මණ්ඩාවල මහතා පියවර ගෙන තිබෙනවා.

Twitter