15 නොවැ 2017

ප්‍රාථමික අධ්‍යාපන ඉගෙනුම් මධ්‍යස්ථාන සඳහා තාක්ෂණික උපකරණ පිරිනැමේ ”

මුද්‍රණය

pra 1අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් රේඛීය සහ පළාත් යන අධ්‍යාපන අංශයන් එක්ව කටයුතු කළ යුතුයි. ” - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

“ළඟම පාසල හොඳම පාසල" ජාතික වැඩසටහන යටතේ ඉදිකරන ලද පාසල් රැසක ප්‍රාථමික අධ්‍යාපන ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන සඳහා තාක්ෂණික උපකරණ හා ලී බඩු ලබා දීම පසුගිය දා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අපේ ගම පරිශ්‍රයේ දී සිදුවුනා.

අදාළ ප්‍රාථමික අධ්‍යාපන ඉගෙනුම් මධ්‍යස්ථාන වල, ක්‍රියාකාරකම් කාමරය සහ කියවීම් කාමරය සඳහා මල්ටිමීඩියා යන්ත්‍ර, පරිගණක යන්ත්‍ර, මේස සහ පුටු මෙන්ම පොත් රාක්ක ආදිය මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා අතින් පාසල් වෙත බෙදා දුන්නා. උතුරු නැගෙනහිර ප්‍රදේශයේ පාසල් රැසකට ද මෙසේ තාක්ෂණික උපකරණ හිමිවීම මෙම උත්සවයේ දී කැපී පෙනුණා. 2016 වර්ෂයේ සිට රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන නව ජාතික අධ්‍යාපන වැඩසටහන වන්නේ “ළඟම පාසල හොඳම පාසල" වැඩසටහනයි. මේ යටතේ පාසල් පද්ධතිය භෞතික හා ගුණාත්මක වශයෙන් සංවර්ධනය කිරීම සඳහා ව්‍යාපෘතීන් ගණනාවක් ක්‍රියාත්මක කරනු ලබනවා.

මෙම උත්සවයේ දී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, පළාත් අධ්‍යාපන අංශ සමඟ එක්ව කටයුතු කිරීමට ඇති පරිපාලන බාධා මගහරවා ගනිමින් රටේ සමස්ත අධ්‍යාපනය දියුණු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියා කරන බවයි. නියමිත ගුරුමාරුවීම් වලදී ජාතික ‍හෝ පළාත් යන රාමු වලින් මිදී අදාළ ගුරුවරුන් අපහසුතාවයට පත් නොවන අයුරින් එම මාරුකිරීම් සිදුකරන ලෙසට අදාළ නිලධාරීන් වෙත උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. දූපත් මානසිකත්වය තුළ හිඳිමින් හුදෙක් අයිතිකරුවන් පමණක් වීමෙන් කිසිදු පලක් නොවන බවත්, රටේ සමස්ත අධ්‍යාපනය දියුණු කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය සතු කාර්යයභාරය බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සේනානි හේවගේ මහතා ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියා.pra 2pra 3pra 6pra 8pra 10

 
Twitter