07 දෙසැ 2017

ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දිනය අද... රටේ සියලු පාසල් සම්බන්ධ කරගනිමින් දීප ව්‍යාප්ත මට්ටමින් පාසල් ප්‍රජාව දැනුවත් කිරීමට පියවර

මුද්‍රණය

24799255 10156091252064060 4310144013004974446 o
‘සදා සුරකිමු දැයේ දරුවන්’ යන තේමාව යටතේ, ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දිනය අද දිනට යෙදී තිබෙනවා. ඊට අදාළ ජාතික දින සැමරුම් උත්සවය අද (07) උදෑසන නුගේගොඩ අනුලා විද්‍යාලයේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

දැයේ දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂණය වෙනුවෙන් පසුගිය ඔක්තෝබර් මස 01 වැනි දාට යෙදුණු ලෝක ළමා දිනයේ සිට ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන බලගන්වනු ලැබුවා. ඒ අනුව, පාසල් සිසු දරුවන් රැසක් මේ වනවිටත් ප්‍රතිලාභ අත්කරගෙන තිබෙනවා. මෙම ජාතික වැඩසටහන සම්බන්ධයෙන් පාසල් සිසුන්, දෙමව්පියන් ඇතුළු පාසල් පාදක ප්‍රජාව තවදුරටත් දැනුවත් කිරීම අරමුණු කරගනිමින් දෙසැම්බර් 07 වැනි දා ‘ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දිනය’ ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

අද දිනයේ දී සුරක්ෂා සිසු රක්ෂණාවරණය පිළිබඳ පාසල් සිසුන් සහ පාසල් පාදක ප්‍රජාව දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන සියලු පාසල් සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු සංවිධානය කර තිබෙනවා.

මෙම දීපව්‍යාප්ත වැඩසටහනට අනුව අද දිනයේ දී පාසල් තුළ අත්පත්‍රිකා බෙදා හැරීම මෙන්ම දැනුවත් කිරීමේ දේශන ද පැවැත්වීමට නියමිතයි. මේ පිළිබඳ තොරතුරු ඇතුළත් චක්‍රලේඛයක් සියලු පාසල්, පිරිවෙන් ඇතුළු ආයතන ප්‍රධානීන් වෙත මේ වනවිටත් යොමුකර අවසන්.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයවීම මත ක්‍රියාවට නැංවෙන සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන යටතේ සෑම පාසල් දරුවෙකු සඳහා ම වසරකට රුපියල් ලක්ෂ 02 බැගින් වන රක්ෂණාවරණයක් හිමිවන අතර රජයේ සියලු පාසල්, ආධාර ලබන සහ නොලබන පුද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් හා පිරිවෙන් ඇතුළු ව ශ්‍රි ලංකාවේ පාසල් 11,242 ක් තුළ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් ලක්ෂ 45 කට ආසන්න පිරිසක් ආවරණය වනවා.

සුරක්ෂා සිසු රක්ෂණාවරණය යටතේ පාසල් දරුවෙකුගේ බාහිර ප්‍රතිකාර සඳහා වාර්ෂික ව රුපියල් 10,000 ක් දක්වා ද, රෝහල්ගත වීමක දී රුපියල් 100,000 ක් දක්වා ද, පාසල් දරුවෙකුගේ හදිසි මරණයක දී රුපියල් 100,000 ක් දක්වා මෙන්ම පාසල් දරුවෙකුගේ මව හෝ පියා හදිසියේ මරණයට පත් වූ විට දී රුපියල් 75,000 ක වන්දි මුදලක් ද ලබා දෙනු ලබනවා. එමෙන් ම දරුවා පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වීමේ දී රුපියල් 100,000 ක් සහ අර්ධ ආබාධිත තත්වයක දී රුපියල් 50,000 සිට රුපියල් 100,000 ක් දක්වා ඇතුළු තවත් ප්‍රතිලාභ රැසක් හිමි වනවා.

සම්පූර්ණයෙන් ම නොමිලේ දරුවන්ට ලබාදෙන මෙම රක්ෂණාවරණය සඳහා රජය වැයකොට ඇති මුදල රුපියල් බිලියන 5කට ආසන්නයි.

Twitter