07 දෙසැ 2017

අධ්‍යාපනයේ ගුණාත්මක බව වර්ධනය කරමින්, අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයේ අනිවාර්ය විෂයන් ප්‍රමාණය ඉදිරියේ දී විෂයන් 06 කට සීමා කිරීම පිළිබඳව අවධානය - ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දින සැමරුමට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

මුද්‍රණය

suraksha 1
දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක වෙනසක් ඇති කිරීම සඳහා අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයේ අනිවාර්ය විෂයන්, ඉදිරියේ දී විෂයන් 06 කට සීමා කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ අවධානය යොමුව තිබෙනවා. අද (07) නුගේගොඩ අනුලා විද්‍යාලයේ දී ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දිනය නිමිත්තෙන් පැවති ජාතික උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. එම ප්‍රධාන විෂයන් වලට අමතර සියළු සෙසු විෂයන් ප්‍රයෝගික මෙන්ම දියුණු ඇගයීම් ක්‍රමයකට අනුව සැලසුම්කොට, විෂය මාලාවන් හී පුළුල් වෙනසක් ඉදිරියේ දී සිදුකරීමට අපේකෂා කරන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නා.

අධ්‍යාපන අමාත්‍යාංශය මඟින්, සුරක්ෂා සිසු රක්ෂණාවරණය හඳුන්වාදීමේ දී, එය කළ හැකි දෙයක් දැයි බොහෝ පිරිස් ප්‍රශ්න කළ ද, අද එය යථාර්ථයක් බවට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමත් වී ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී විශේෂයෙන් පැහැදිලි කළා. එමෙන්ම සුරක්ෂා සිසු රක්ෂණාවරණය ලබා ගැනීම සඳහා සිසු දරුවන් වෙත අවශ්‍ය නිවැරදි මඟපෙන්වීම ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා සියළු විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියා. එමෙන්ම සිසු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වූ අනාගත භාරදූර වගකීම පිළිබඳව වත්මන් රජය නිරන්තර අවධානයෙන් පසුවන බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළා.

සුරක්ෂා සිසු රක්ෂණාවරණය ගැන සියළු සිසුන් සහ මව්පියන් දැනුවත් කිරීම සඳහා විශේෂ පත්‍රිකාවක් ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් මෙහි දි සංකේතාමකව පිරිනැමුණා. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් මහතා සහ ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති හේමක අමරසූරිය මහතා ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් රැසක් මේ උත්සවයට එක්ව සිටියා.

මීට සමගාමීව අද දිවයින පුරා පාසල් වල ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දිනය නිමිත්තෙන් වැඩසටහන් සංවිධාන වී තිබුණා. මෙහි දී සුරක්ෂා රක්ෂණාවරණය පිළිබඳව අත්පත්‍රිකා සහ දේශන මඟින් දරු දැරියන් සහ මව්පියන් තව තවත් දැනුවත් කිරීම සිදු කෙරුණා.

සුරක්ෂා සිසු රක්ෂණාවරණය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 03 කට ආසන්නයි. මේ යටතේ පාසල් සිසුවෙකුගේ බාහිර ප්‍රතිකාර සඳහා වාර්ෂිකව රුපියල් 10,000 ක් දක්වා ද රෝහල් ගත වීමක දී රුපියල් 100,000 ක් දක්වා ද පාසල් දරුවෙකුගේ හදිසි මරණයක දී රුපියල් 100,000 ක් සහ සිය මවගේ හෝ පියාගේ මරණය සිදු වූ විට රුපියල් 75,000 ක ද ප්‍රතිලාභ හිමිවනවා. එසේම දරුවා පූර්ණ ආබාධිත තත්ත්වයකට පත් වුවහොත් රුපියල් 100,000 ක් සහ අර්ධ ආබාධිත තත්ත්වයකට පත් වුවහොත් රුපියල් 50,000 සිට රුපියල් 100,000 ක් දක්වා ඇතුළු තවත් ප්‍රතිලාබ රැසක් මේ හරහා පිරිනැමෙනවා. මේ වන විටත් සිසුන් විශාල සංඛ්‍යාවක් සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්‍රතිලාබ ලබාගනිමින් සිටිනවා.suraksha 2suraksha 3suraksha 5suraksha 6suraksha 7suraksha 8suraksha 9suraksha 10suraksha 11suraksha 12suraksha 13suraksha 14suraksha 15

Twitter