26 දෙසැ 2017

අර්ථවත් නත්තලක් වෙනුවෙන් සාමූහිකව එක්වෙමු

මුද්‍රණය

25734415 10156144415539060 197739387559344021 o

සාමය සහ සමාජ යහසාධනයේ සුබ පණිවුඩය ලොවට රැගෙන ආ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කරමින් සමස්ත ලෝකවාසී කිතුනු බැතිමතුන් නත්තල් උත්සවය අති උත්කර්ෂවත්ව සමරන මේ මොහොතේ ඔවුන් සියලු දෙනාට අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මගේ සුබපැතුම් එක්කරමි.

ආගමික සහජීවනය, පරිත්‍යාගශීලීභාවය, දයාව වැනි හර සංකල්ප සමාජගත කරන්නට අධ්‍යාපන පද්ධතියට අතිවිශාල ශක්තියක් පවතියි. සමාජ සංවේදී දරුවන් නිර්මාණය කරන්නට ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ සුවිශේෂ අවධානය යොමු කරනුයේ ද එබැවිනි. ජාති ආගම් භේදයකින් තොර ව රටක් වශයෙන් එකාවන් ව කටයුතු කිරීමට නම්, විවිධත්වයට ගරුකරන, විවිධත්වය අගයන, සංස්කෘතික අනන්‍යතාවන් හඳුනන මිනිසුන් සමාජයට නිර්මාණය කළ යුතුය. එහි ලා අධ්‍යාපනයට පැවරෙන කාර්යභාරය අතිමහත් ය. මේ වනවිටත් අධ්‍යාපන පද්ධතිය තුළ ක්‍රියාවට නංවා ඇති විවිධ වැඩසටහන් හරහා දරුවන්ගේ විෂය දැනුම මෙන් ම සමාජ සංවේදීබව ඉහළ නංවන්නට අපගේ සුවිශේෂ අවධානය යොමුව ඇත්තේ ද එබැවිනි.

වෛරය, ක්‍රෝධය, ද්වේශය වෙනුවට ප්‍රේමය, දයාව, කරුණාව සමාජගත කරන්නට ජේසුස් වහන්සේ කළ මඟපෙන්වීම මුලුමහත් මිනිස් ප්‍රජාවට ම ආදර්ශයකි. ජාතිය කවරක් වුවත්, ආගම කවරක් වුවත්, සමාජ යහපත වෙනුවෙන් එක්සිත්ව කටයුතු කරන්නට අවශ්‍ය මාවත සියලු ආගමික ශාස්තෘවරුන් විසින් පෙන්වා දී තිබේ. ඒ මඟ අනුව යමින්, ඊට ශක්තිය එකතු කරමින් නත්තලේ සැබෑ අරුත සාක්ෂාත් කරගන්නට සාමූහික ව පෙළගැසෙමු.

ඔබ සැමට සුබ නත්තලක් වේවා!...

අකිල විරා‍ජ් කාරියවසම්
අධ්‍යාපන අමාත්‍ය

Twitter