නවතම පුවත්

“රාජපක්ෂලා විනාශ කරල ගියපු රටක් භාර අරගෙන, විවිධ බාධක මැද අපි උපරිම වේගයෙන් වැඩ කළා, මේ සටන අපි නියත වශයෙන් ම දිනනවා… ”

විනාශ වී ගිය ආර්ථිකයක්, පිරිහී ගිය සදාචාරයක් සහිත රටක් භාරගනිමින් ගත වූ වසර කිහිපය තුළ උපරිම වේගයෙන් වැඩ කළ බවත්, ඒ නිසා මෙම ජනාධිපතිවරණ සටන නිසැකව ම ජයගන්නා බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය. මහලේකම්වරයා මේ අදහස් පළ කළේ  ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් අද (12) කුලියාපිටියේ පැවති අවසන් ජනහමුවට එක්වෙමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා, “අවුරුදු තුනහමාරක් තිස්සේ හොඳම අමාත්‍යාංශ ටික ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීලා, පළාත් සභා පවා නැතුව, රාජපක්ෂලා ඉවරකරල ගියපු භාණ්ඩාගාරය, විනාශ කරල ගිය ආණ්ඩුව, ඔවුන් විනාශ කරලා ගිය  සදාචාරය, මේ රටේ ආර්ථිකය, මේ රටේ ජාත්‍යන්තර ව අපට තිබුණු කීර්තිය, මේ හැම දෙයක්ම නැති කරල ගිය රටක් භාර අරගෙන අපි කරපු හරිය මදිද කියල මම තමුන්නාසෙලගෙන් අහන්න කැමතියි. තමුන්නාසෙලා දන්නවා..අපි හොදට කැප වෙලා වැඩ කළා. අපට යන්න පුළුවන් උපරිම වේගයෙන් අපි වැඩ කළා...” යැයි පැවසීය.

පක්ෂයක් වශයෙන් සාමූහික ව මුල සිට ම කටයුතු කළ බවත්, ඒ නිසා මෙවර එක්සත් ජාතික පක්ෂයට විජයග්‍රහණය නියත වශයෙන් ම හිමි වන බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා,

ගොඩක් අය බලාගෙන හිටියා එක්සත් ජාතික පක්ෂය කැඩෙයි, විවිධ කොටස්වලට භේද වෙයි කියලා. නමුත් අපිට පුළුවන්කම ලැබුණා ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමත් ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ඇතුළු අපේ නායකයො හැම කෙනෙක් ම එක දරමිටක් වගේ එකමුතු වෙලා මේ ජනාධිපතිවරණ සටනට එන්න අපට පුළුවන් වුණා. මම ආඩම්බර වෙනවා මේ යුගයේ පක්ෂයේ මහලේකම් හැටියට  මේ සටන මෙහෙයවන්න අපේ උපරිම කැපවීම ලබා දෙන්න හැකිවීම ගැන. අද මේ කුලියාපිටියට ආව ජන ගංගාවෙන් ම පේනවා මේ සටන අපි දිනනවා කියලා. ”යැයි ද සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය භාර අමාත්‍යවරයා වශයෙන් රටේ දරුවන් වෙනුවෙන් සුරක්ෂා රක්ෂණය හඳුන්වා දුන් බව ද, ළගම පාසල හොදම පාසල වැඩසටහන යටතේ රටපුරා පාසල් ගොඩනැගිලි අතිවිශාල ප්‍රමාණයක් ඉදිකර දුන් බව ද, 13 වසරක අධ්‍යාපන වැඩසටහන හදුන්වා දෙමින් සාමාන්‍ය පෙළ අසමත් දරුවන්ට ද වෘත්තීය විෂයන් ඔස්සේ අනාගතය ශක්තිමත් කරගන්නට අවස්ථාව සලසා දුන් බව ද, රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය නගාසිටුවීම වෙනුවෙන් උපරිමයෙන් ම කටයුතු කළ බව ද තවදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේය. මේ අවස්ථාවට ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ඇතුළු පක්ෂයේ මැති ඇමතිවරුන් රැසක් එක්වූහ.

Search