නවතම පුවත්

සුරක්ෂා සිසු රක්ෂණාවරණයෙන් සිසුනට ප්‍රතිලාභ ගෙවීම  රුපියල් මිලියන 1,750ක් ඉක්මවයි.

නිදහස් අධ්‍යාපන අවස්ථා පුළුල් කරමින් සෞඛ්‍ය සම්පන්න නිරෝගි සිසු පරපුරක් බිහිකර ගැනීමේ අරමුණ ඇතිව වත්මන් රජය ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාවේ සියලුම පාසල් දරුවන් එකවර රක්ෂණය කරමින් නොමිලේ ලබා දෙන සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රතිලාභ පිරිනැමීම අප්‍රමාදව සිදුකරයි.

2019 ඔක්තෝම්බර් මස 31වැනිදා වන විට සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ සඳහා හිමිකම් ලැබූ 40,125 දෙනෙකුට රුපියල් මිලියන 1,759 ක මුදලක් ප්‍රතිලාභ වශයෙන් ගෙවා අවසන් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව මෙවර සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රතිලාභ වැඩි කිරීමට ද විශේෂ පියවර කිහිපයක් ගෙන ඇත.

ඒ අනුව මේ වසරේ සිට සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රතිලාභ වැඩි කිරීමට සුවිශේෂි පියවර කිහිපයක් ගෙන ඇත. රජයේ රෝහල්ගත වන දිනකට ගෙවන මුදල රුපියල් 1.000/- සිට රුපියල් 3,000/- තෙක් වැඩි කිරීම. බාහිර ප්‍රතිකාර යටතේ ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරණ, ඇස් කණ්ණාඩි වැනි උපකරණ ලබා ගැනීමේ හැකියාව, විශේෂඥ ‍වෛද්‍ය සේවා ගාස්තු ලබා ගැනීමේ හැකියාව, මුදල් ගෙවීමකින් තොරව රෝහල්ගත වීමේ හැකියාව, රෝහල් ගතවීමට පෙර දින 7ක් සහ රෝහලෙන් පිට වූ පසු දින 14ක් බෙහෙත් ලබා ගැනීමේ හැකියාව ද ලබා දීම ද ඒ අතර ප්‍රමුඛ වේ.

රජයේ හෝ පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර සඳහා රුපියල් 200,000ක් ද, බාහිර ප්‍රතිකාර සඳහා රු.20,000ක් ද, අසාධ්‍ය රෝග ප්‍රතිකාර සඳහා රුපියල් 200,000ක සිට අවශ්‍යතාව අනුව ඒ සඳහා වැය වන මුළු මුදල ද, පූර්ණ අකර්මණ්‍යතාවක දී රු.200,000ක් ද, අර්ධ අකර්මන්‍යතාවක දී රු.150,000/- සිට රු. 200,000/-ක් දක්වා ද, මවුපිය වියෝවක දී එක් අයෙකුට රු.200,000/-බැගින් දෙදෙනාට ම ආවරණය ද, (පවුලේ සියලු දරුවන් සඳහා වෙන් වෙන් ව) ශිෂ්‍ය වියෝවක දී රු.150,000/- ක මුදලක් ද ප්‍රතිලාභ ලෙස පිරිනැමේ.

දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙරට පාසල් පද්ධතිය වෙත හඳුන්වා දෙනු ලැබූ මෙම සිසු රක්ෂණාවරණයෙහි ප්‍රතිලාභ අවුරුදු 5-21 වයස් සීමාවේ පසුවන සියලුම පාසල් දරුවන් වෙත නොපමාව ලබා දීම රජයේ අරමුණ බැවින් සුරක්ෂා ප්‍රතිලාභ ලබා ගැනීමේදී යම් ප්‍රමාදයක් හෝ වෙනත් ගැටළුවක් මතු වේ නම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල්සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ 0112369369, 0113641555, 0112784872 යන දුරකථන අංකවලට අමතා ඒ සම්බන්ධව දැනුම් දෙන ලෙස ද අමාත්‍යවරයා සඳහන් කරයි.

Search