නවතම පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට නාම යෝජනා භාර දෙන අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ නායකතුමන්, මහලේකම්වරයා සහ උප නායකතුමන් ඊට සහභාගී නොවූ බව සඳහන් කරමින් විවිධ අසත්‍ය තොරතුරු  සමාජගත කරමින් අවලාදාත්මක දේශපාලනයක නිතර වීමේ ගෝඨාභය රාජපක්ෂ කණ්ඩායමේ වෑයම පිළිකුලෙන් යුතුව  බැහැර කරමි

 එක්සත් ජාතික පක්ෂයේ  2020  ජනපති අපේක්ෂකයා ලෙස පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා පක්ෂ ඒකමතික තීරණයෙන් තෝරාගත් අතර සෙසු සන්ධානගත පක්ෂ සමග එක්ව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ද සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වෙයි. 

නාමයෝජනා භාර දීම සඳහා සහභාගී වීමට අවසර ඇත්තේ අදාළ පක්ෂයේ ලේකම්වරයා,නීතිඥවරයා සහ අපේක්ෂකයාට පමණක් බව මැතිවරණ නීතිය දන්නා ඕනෑම පුද්ගලයෙකු හොඳින් දන්නා කරුණකි. 

ඒ අනුව ඊයේ දිනයේ පැවති නාම යෝජනා භාර දීමේ අවස්ථාව සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරිය, නීතිඥවරයා සහ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පමණක් සහභාගි වූ බව සඳහන් කළ යුතුය.

තත්ත්වය එසේ පැහැදිලි ව තිබියදී එය නොදන්නවා සේ ඊට වෙනත් අර්ථකථන ලබාදෙමින් එක්සත් ජාතික පක්ෂ නායකයා, මහලේකම්වරයා සහ උප නායකයා ඊට සම්බන්ධ නොවූ බව ප්‍රකාශ කරමින් තම දේශපාලන අඳබාලභාවය ප්‍රදර්ශනය කරමින් සිදුකරන අර්ථ විරහිත ප්‍රකාශ රාජපක්ෂ කණ්ඩායමේ දේශපාලන බංකොලොත්භාවය සමාජය හමුවේ නිරාවරණය කර ඇත.

 එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් වන අතර පවුල් පාලනයක් තුළ වහල් මානසිකත්වයකින් දේශපාලනයේ යෙදෙන  පොදුජන පෙරමුණේ  දේශපාලන භාවිතයට වඩා එය වෙනස් ජනතාවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී වූවක් බව නැවතත් සිහිපත් කර දීමට කැමැත්තෙමි. 

ප්‍රජාතන්ත්‍රවාදය බැහැර කළ ඒකාධිපති පාලනයක් වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් එකට එක් වූ සියලු බලවේග සමඟ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ විජයග්‍රහණය වෙනුවෙන්  සියලු ම එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම  මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු ම ජන බලවේගයන් කැපවී සිටින බව ද බංකොලොත් විපක්ෂයට සිහිපත් කරමි. 

එබැවින් විවිධ අසත්‍ය කරුණු සමාජගත කරමින්  සැලසුම් සහගත අර්බුද නිර්මාණය කිරීමට  උත්සහ දරමින් තම ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයින් මෙන්ම කණ්ඩායම් අපහසුතාවට පත් කිරීමේ පොදුජන පෙරමුණේ උත්සාහයන්ට එක්සත් ජාතික පක්ෂයේ සියලු ආදරණීය පාක්ෂිකයන් ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය අගයන බුද්ධිමත් ජනතාව නොවැම්බර් 16 වෙනිදා ඡන්ද පොළේ දී නිසි පිළිතුරු ලබාදෙනු ඇත.

ගුරු ප්‍රතිභා ප්‍රභා ප්‍රණාම උළෙල අද (04) අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්වුණා.

ඒ , අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන්.

බෞද්ධකම පොරවාගෙන  දේශපාලනයෙන් ගොඩ එන්නට තැත් කරන අය කවුරුන්දැයි ජනතාව තේරුම්ගෙන සිය තීරණය ප්‍රකාශ කළ යුතුව ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය  නීතීඥ අකිල විරාජ් කාරීවයවසම් මහතා ප්‍රකාශ කරයි.

අමා‍ත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ කුලියාපිටියේ එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමෙන් පසුව මාධ්‍යවේදියෙකු අසන ලද ප්‍රශ්න කීපයකට පිළිතුරු වශයෙනි.

බෞද්ධයින් හා බෞද්ධ දර්ශනය නඟා සිටුවීමට වත්මන් ආණ්ඩුව තරම් ක්‍රියා කළ තවත් ආණ්ඩුවක් නැතැයි ද පැවසූ  අමාත්‍යවරයා  “මම මධ්‍යම සංස්කෘතික අරමුදල භාරව සිටියදී විහාරස්ථාන 1500 කට මුදලින් රුපියල් ලක්ෂ 5 බැගින්  ලබා දුන්නා. වි‍ශේෂයෙන්ම අනුරාධපුරයේ මහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළා. රුවන්වැලි මහා සෑයේ වැලි ඇතිරීමේ සිට දීඝවාපිය ප්‍රතිසංස්කරණය දක්වා කෝටි ගණනක මුදල් වැය කළා. දීඝවාපිය ප්‍රතිසංස්කරණයට පමණක් රුපියල් කෝටි 75 – 80 වෙන් කළා. ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා එම අරමුදල භාර ගත්තාට පසුව පන්සල් වෙහෙර විහාර ආදියට විශාල වශයෙන් වැඩ කර තිබෙනවා. අගමැතිතුමාගේ ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් ද කෝටි ගණනින් වැඩ කර ති‍බෙනවා. බුද්ධාගම නඟා‍ සිටුවීමට හා වෙහෙර විහාර ප්‍රතිසංස්කරණයට ඉතිහාසයේ කවරදාවත් මේ ආණ්ඩුව තරම් කවුරුත් වැඩ කර  නැහැ.” යැයිද පැවසුවේය.

 

නියම බෞද්ධයෙක් නම් බුදුන්වහන්සේගේ දර්ශනයට අනුව හැසිරිය යුතු බවත් විපක්ෂයේ සමහරුන් පහුගිය කාලයේ හැසිරුණේ බෞද්ධ දර්ශන අනුව නොවන බවත් ඔවුන් මිනීමැරුම් ගසා කෑම් සිදු කරමින් සුදු වෑන් සංස්කෘතියක් ද ක්‍රියාත්මක කරන ලද  කළ බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා “ අප ගැන කුමන විවේචන කළත් සුදුවෑන් වලින් මිනිස්සු උස්සලත් නැහැ,වෙඩිතියලත් නැහැ,මරලත් නැහැ,එසේ වුවත් සමහරවිට අකරතැබ්බ සිදුවී ඇත්තේ ද අපට ම තමයි. ” යනුවෙන් ද පැවසුව්ය.

වේදිකාවල විපක්ෂයේ බංකොලොත් දේශපාලනඥයෝ සහ ඇතැම් කණ්ඩායම්  වචනයක් දෙකක් අල්ලා ගෙන ජනාධිපතිවරණයෙන් ගොඩ යා හැකි යැයි සිතා  පහත් උපක්‍රම යොදන  බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මාධ්‍යවේදියෙකු නඟන ලද  තවත්   පැනයකට පිළිතුරු වශයෙනි.

සුරක්ෂා  ප්‍රතිලාභ වේගවත් ව දරුවන්ට...

 

           දිවයිනේ සියලුම ජාතික සහ පළාත් පාසල්, පෞද්ගලික පාසල් හා ජාත්‍යන්තර පාසල් සහ පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සියලු ම සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යංශය මඟින් හඳුන්වා දුන් සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ලබාගැනීම වේගවත් ව ක්‍රියාවට නැංවෙමින් පවතී.

            2018 දෙසැම්බර් මස 01 දා සිට සුරක්ෂා සිසු රක්ෂණය ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ අලියාන්ස්  ඉන්ෂුරන්ස් ලංකා ලිමිටඩ් ආයතනය එක් ව සිටින අතර වයස අවුරුදු 5-21 අතර සිටින සියලු පාසල් දරුවන්ට සෞඛ්‍ය රක්ෂණාවරණ, අනතුරු රක්ෂණාවරණ සහ ජීවිත රක්ෂණාවරණ අවස්ථා මේ යටතේ සලසා දී තිබේ.

            අධ්‍යාපන අමාත්‍යංශය වෙත ලැබුණු නවතම සංඛ්‍යාත්මක දත්ත අනුව රුපියල් මිලියන 1,340 කට අධික මුදලක් රක්ෂණ ප්‍රතිලාභ ලෙස මේ වන විටත් සිසුන් වෙත ගෙවා අවසන් අතර, ගෙවී ගිය කාලය තුළ රක්ෂණ හිමිකම් වෙනුවෙන් ලැබී ඇති  ඉල්ලීම්  සංඛ්‍යාව 29,000කි.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථම, දෙවන හා තෙවන ආදී ස්ථාන නම් නොකර මෙවර ප්‍රතිඵල නිකුත් කිරීම නිසා එම විභාගයට පෙනී සිටි දරුවන්ට තවත් සිසුවකු සමඟ සැසඳීමකින් හා කිසිදු පීඩනයකින් තොරව ඉදිරි අධ්‍යාපන කටයුතුවල යෙදීමේ වරම ලබාදීමට තමාට හැකි වූ බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දෙයි.

සිසු දරුවන් විභාගවලදී පැය කිහිපයක් ඇතුළත ප්‍රශ්න පත්‍රවලට සපයන පිළිතුරුවලින්  ලබන ප්‍රතිඵල මත පමණක් ඔවුන්ගේ දක්ෂ අදක්ෂ බව තක්සේරු කිරීම තමන් අනුමත නොකරන බැවින්, පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ ප්‍රථම, දෙවන, තෙවන යනාදී ස්ථාන නම් නොකිරීමට තමා ගනු ලැබූ තීරණය පරිදි මෙවර ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරන ලද බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

එමෙන් ම ශිෂ්‍යත්ව විභාගය සඳහා පවතින අනවශ්‍ය තරඟකාරිත්වය මත දරුවන්ට අහිමි වන ළමා කාලය නැවතත් ඔවුන්ට ලබාදීමට ගනු ලැබූ මෙම තීරණය ඉදිරියටත් ක්‍රියාත්මක කිරිමෙන් හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

පාසලක සියලුම දරුවන්ට සමානව සැලකිය යුතු වුවත්, මෙතෙක් සිදු වූයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් වූ කිහිප දෙනෙකු පමණක් ප්‍රදර්ශනාත්මකව අගය කිරීමයි. අනෙක් සිසුන් අපහසුතාවයට පත් කරන එම සම්ප්‍රදාය වෙනස් කිරීම සඳහා තමාගේ මෙම තීරණය දරුවන්ට පමණක් නොව ඔවුන්ගේ මවුපියන්ට, ගුරුවරුන්ට අස්වැසිල්ලක් වූ බව බොහෝ විදුහල්පතිවරුන් හා ගුරු දෙගුරුන් තමාට ප්‍රකාශ කළ බව  ද අමාත්‍යවරයා සඳහන් කරයි.

දරුවන්ට නිදහසේ සිය අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථා සලසාදීම සඳහා අ.පො.ස. (සා.පෙළ) විභාගයේ සමත් අසමත්භාවය නොසලකා සිය නිපුණතාව හා කැමැත්ත පරිදි අඛණ්ඩ අධ්‍යාපනයක් ලැබීමට “13 වසරක සහතික කළ අධ්‍යාපනය” වැනි විප්ලවීය වැඩසටහනක් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දැඩි කැපවීමකින් ක්‍රියාත්මක කිරීමට තමාට හැකි වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

වසර 11 ක් වැනි දීර්ඝ කාලයකට පසුව පහ ශ්‍රේණිය ශිෂ්‍යාධාර ලබන සිසුන්ගේ සංඛ්‍යාව 15,000 සිට 20,000 දක්වා වැඩි කිරීමටත්, එයින් විශේෂ අධ්‍යාපනය ලබන සිසුන්  250කට ශිෂ්‍යාධාර ලබාදීම අනිවාර්යය කිරීම සහ  මාසික ශිෂ්‍යාධාර මුදල රු500/- සිට රු 750/- දක්වා ඉහළ දැමීමටත් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පරිදි පියවර ගෙන ඇති අතර ශිෂ්‍යාධාර මුදල් ප්‍රමාදයකින් තොරව Online ක්‍රමයට සිසුන් ට ලබා ගැනීමේ පහසුකම්ද සලසා ඇත.

පාසල් පද්ධතියේ ගුණාත්මකභාවය පවත්වා ගෙනයාම වෙනුවෙන් සුදුසුකම් සහිත විශිෂ්ට නායකත්ව හා කළමනාකරණ හැකියාවන්ගෙන් යුත් විදුහල්පතිවරුන්ගේ දායකත්වය ලබාගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ උපදෙස්  පරිදි ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වැනි ශ්‍රේණියට නවක විදුහල්පතිවරුන් 1858ක් බඳවාගැනීමට පසුගිය දා පියවර ගනු ලැබූ අතර, එම විදුහල්පතිවරුන් සේවාරම්භක පුහුණුව යොමු කිරීම ඔක්තෝබර් 02 සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

2019-10-02 සිට 2019-11-13 දින දක්වා පැවැත්වෙන මෙම සේවාරම්භක පුහුණුව  අදියර හතරකින් ක්‍රියාවට නැංවෙන අතර, ඒ අනුව, පළමු අදියර යටතේ මෙම ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් පුහුණුව සඳහා ලියාපදිංචි කරගැනීම මහරගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සහ මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ දී අධ්‍යාපන ලේකම් එම් එන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එදින සිදුකෙරේ. මෙම විදුහල්පතිවරුන් කලාප අධ්‍යාපන කාර්යාල තුළ එක් දින පුහුණුවකට ද යොමු කෙරෙන අතර, දෙවැනි අදියරේ දී පළාත් සමායෝජකයින්ගේ සම්බන්ධීකරණයෙන් පාසල් වෙත අනුයුක්ත කර සති දෙකක පුහුණුවක් ලබාදීමට ද, තෙවැනි අදියරේ දී  පළාත් පුහුණු මධ්‍යස්ථාන තුළ සති දෙකක නේවාසික පුහුණුවක් ලබාදීමට ද, සිවුවැනි අදියරේ දී වැඩ කරන දින හතක නේවාසික නොවන පුහුණුවකට ද මෙම විදුහල්පතිවරුන් යොමු කෙරේ.

රටේ දරුවන්ගේ අධ්‍යාපන අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ගනු ලබන තීන්දු තීරණ කුමන හේතුවක් නිසාවත් කල් නොදමා ක්‍රියාවට නැංවිය යුතු බව ද, සැප්තැම්බර් මාසයේ දී අධ්‍යාපන පද්ධතියට බඳවාගත් මෙම ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් ද ඉතා ඉක්මණින් පාසල් පද්ධතිය වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙස තමා නිලධාරීන් වෙත උපදෙස් ලබාදෙනු ලැබුවේ ඒ නිසා බව ද අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ  අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

            සේවාරම්භක පුහුණුව ලබා පාසල් පද්ධතියට අලුතින් එක්වන මෙම ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් 1858ත් සමඟ 2015 වසරේ සිට මේ දක්වා මෑතකාලීන ව අධ්‍යාපන පද්ධතිය වෙත බඳවාගත් ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් සංඛ්‍යාව 5759 දක්වා ඉහළ නැංවෙයි.

 

“අපි දරුවන්ට දෙන්නෙ සෞඛ්‍යාරක්ෂාව හා ප්‍රමිතිය තහවුරු කළ  ටැබ් පරිගණකයක්..”

-                        අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම්

නවීන තාක්ෂණය යොදාගෙන දරුවන් අනාගතයට යැවිය හැකි වැඩපිළිවෙළ නතරකිරීමට කිසිසේත් සූදානම් නැති බවත්, දරුවන්ට ලබාදෙන්නේ සෞඛ්‍යාරක්ෂාව හා ප්‍රමිතිය තහවුරු කළ ටැබ් පරිගණක පමණක් බවත් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මෑතකාලීන අධ්‍යාපන ක්‍රියාමාර්ග පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් අද (24) අධ්‍යාපන අමාත්‍යාංයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහි දී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා,

“පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඊයේ එක් මාධ්‍ය සාකච්ඡාවක දි චෝදනා කරනවා, සහරාන්ගේ බෝම්බයට වඩා අකිලගේ ටැබ් ලබාදීම භයානකයි කියලා. ටැබ් පරිගණක ලබාදීම පිළිබඳ ව මුල ඉඳලම මේ රටේ සමහරුන්ට ප්‍රශ්නයක් තිබුණා. මේ රටේ දරුවන් අනාගතයට ගෙන යන වැඩපිළිවෙළ නතරකරන්න, නවීන තාක්ෂණය යොදාගෙන ඩිජිටල් ගුරුවරයෙක් හැටියට කටයුතු කරන ටැබ් ලබාදීම නවත්වන්න  පහුගිය කාලෙ පුරාම දිගින් දිගටම මේක නවත්තන්න විවිධ ප්‍රචාර කළා.. මේකට මඩ ගැහුවා.. බිල්ලෙක් මවන්න හැදුවා. ඒ නිසා මගේ යුතුකමක් තියෙනවා විෂය භාර අමාත්‍යවරයා විදියට, එහි තාක්ෂණය පිළිබඳ විශේෂඥ දැනුම තියෙන අයත් සහභාගී කරවාගෙන  මෙහි සැබෑ තත්ත්වය  පැහැදිලි කරවන්න.

මෙම වැඩපිළිවෙළට කැබිනට් අනුමැතිය ලබාගැනීම ආදියේ දී, යම් ප්‍රමාදයක් වුණත් ඒ සියලු බාධාවන්ට මුහුණ දී  මුලසිටම විධිමත්ව ඉතා පරිස්සමින් මේ වැඩපිළිවෙල ක්‍රියාවට නංවන්න කටයුතු කළ බවත්,  දරුවන්ට ලබාදීමට යෝජිත මෙම ටැබ් පරිගණකය යුරෝපයේ දියුණු රටවල පවා පාසල්වල භාවිත කරන, ලෝකයේ පිළිගත් ටැබ් පරිගණකයක් බවත් සඳහන් කළ අමාත්‍යවරයා, “මම දැක්කා මේ දේශපාලනඥයා විවිධ ආකාරයෙන්  මේ ටැබ් වැඩපිළිවෙළ විවේචනය කරනවා. ඔඩොක්කුවෙ තියාගන්න හොඳ නෑ කියනවා..පුරුෂ ශක්තිය නැතිවෙනව කියනවා. මම දැකලා තියෙනවා එතුමත් ටැබ් එකක් පාවිච්චි කරනවා. එතුමන්ට තියෙන්නෙ බ්‍රෑන්ඩඩ් ටැබ් එකක් නෙමෙයි වගේ මට නම් පෙනෙන්නෙ. අපි ලබාදෙන ටැබ් පරිගණකය එහෙම එකක් නෙමෙයි. ඒක බ්‍රෑන්ඩඩ් ටැබ් පරිගණකයක් යැයි ද පැවසීය. .  

සමහරු දේශපාලන අරමුණුවලින් විවිධ චෝදනා නඟන නමුත් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු වන අයුරින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ඉන්දික ද සොයිසා මහතා මෙහි දී අදහස් දක්වමින් තොරතුරු තාක්ෂණ විශේෂඥයින්ගෙන් සමන්විත වූ තාක්ෂණ මණ්ඩලයකින් සකස්කරන ලද නිර්ණායක මෙන් ම ලෝක සම්මත නිර්ණායක ද පදනම් කරගෙන ටැබ් පරිගණක ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබෙන බව ප්‍රකාශ කළේය.

අනාගත දරුපරපුරට අනාගතයේ දී මුහුණ දීමට සිදුවන අභියෝග සඳහා පුහුණුකිරීම අධ්‍යාපන අමාත්‍යාංශය සිදුකරන ප්‍රමුඛ කාර්යයක් බවත් හතරවැනි කාර්මික විප්ලවය තුළ අප ජීවත්වීමේ දී ඩිජිටල් සාක්ෂරතාව අත්‍යවශ්‍ය වන බවත් පාසල් දරුවන් පුහුණු කළ යුත්තේ එම අනාගත අවශ්‍යතා ඉෂ්ට කර ගැනීම පිණිස බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

තොරතුරු තාක්ෂණ අංශයේ අවශ්‍යතා සඳහා උපාධිධාරීන් 20,000 කට වාර්ෂික රැකියා අවස්ථා තිබුණත් දැනට සිටින්නේ එම උපාධිධාරීන් 10,000කට ආසන්න සංඛ්‍යාවකි. ඒ අනුව එම උපාධිධාරීන් 10,000ක හිඟයක් පවතී. මේ අවශ්‍යතා සපුරා ගත හැක්කේ පාසල් අධ්‍යාපනය විධිමත් තොරතුරු තාක්ෂණය  හඳුන්වා දීමෙන් බව ද ඒ මහතා පැවසීය.

1980 දශකයේ මෙරට අකුරු ලිවීමට හා කියවීමට දත් සංඛ්‍යාවේ ප්‍රතිශතය 90% ඉක්මවා තිබුණ බවත් වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාවය 30% ට ආසන්න වන නමුත් 2021 වර්ෂය වන විට එය 70% දක්වා වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.

“තොරතුරු තාක්ෂණය හඳුන්වා දීමේ දී අවශ්‍යතා හතරක් සම්පූර්ණ විය යුතුයි. එනම්,

ගුරුවරුන්ට මෙම තාක්ෂණය පන්ති කාමරයේ ඉගැන්වීමට පුහුණුකිරීම පළමු වන අවශ්‍යතාවයයි. පෙළපොත් හා පාඩම් ඩිජිටල්කරණයට පත්කිරීම දෙවැනි අවශ්‍යතාවයයි. සිංහල දෙමළ මාධ්‍ය දෙකේ සෑම විෂයයක් ම “ඊ - තක්සලාව” තුළින් ලබා ගත හැකි පරිදි මේ වන විටත් ඩිජිටල්කරණයට පත් කොට තිබෙනවා. ඒ සඳහා උපකරණය වන ටැබ් පරිගණකය තෝරාගැනීම සහ අන්තර්ජාල පහසුකම් සපයා ගැනීම ඉතිරි අවශ්‍යතා දෙකයි. ඒ වෙනුවෙන් ලෝක සම්මත ප්‍රමිති සකස්කර තිබෙනවා. ශ්‍රී ලංකාවට මෙම උපකරණ ගෙන් වීමේ දී අනුගමනය කළ යුතු පිළිගත් නියාමන ක්‍රමවේදයක් ද තිබෙනවා. එය අනුගමනය නොකර කිසිදු උපකරණයක් රට තුළට ගෙන්විය නොහැකියි. තොරතුරු තාකෂණය යටතේ භාවිත කෙරෙන ටැබ් පරිගණක ආදී උපකරණ ගෙන්වීමේ දී අනුගමනය කළ යුතු ක්‍රමවේදය අනුව ලබා ගත් සහතිකය ( Certificate of Electronic) අදාළ උපකරණයෙහි යම් ස්ථානයක සලකුණු කර තිබිය යුතුයි. එසේ නොමැති කිසිදු උපකරණයක් මෙහි ගෙන්විය නොහැකියි. එබැවින් විශේෂඥයින්ගෙන් සමන්විත තාක්ෂණ මණ්ඩලය අදාළ නිර්ණායක අනුව ක්‍රියාත්මක වනු ඇති බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

පෙර වර්ෂවල මෙන් නොව මෙවර පළාතක් පාසා ගොස් විද්‍යාත්මකව      ක්‍රමයකට සිදු කරන ලද ඇගයීම් ක්‍රමවේදයකින් ප්‍රණාම පිරිනැමිමට සුදුසු ගුරු හා විදුහල්පතිවරුන් තෝරා ගැනීම නිසා හොඳම කණ්ඩායම බවට පත්වීම සම්බන්ධයෙන් ආඩම්බරවීමට පවා අවස්ථාව අද ප්‍රණාම ලබන ගුරු භවතුන්ට හිමිවිම ගැන අමාත්‍යවරයා සිය ප්‍රශංසාව පිරි නැමුවේය.

අමාත්‍යවරයා එසේ ප්‍රශංසා පිරිනැමුවේ ඔක්තෝබර් 05 වැනිදාට යෙදෙන ලෝක ගුරු දිනය වෙනුවෙන් වසරක් පාසා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන ගුරු ප්‍රතිභා ප්‍රණාම උළෙල අද (04) දින අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති අවස්ථාවේදීය. මෙහිදී 2019 වසර වෙනුවෙන් පරිවේණාධිපතිවරුන් හා විදුහල්පතිවරුන් 110  දෙනෙකු සහ පරිවේණාචාර්යවරුන් හා ගුරුවරුන් 157 දෙනෙකු ඇගයීමට ලක් විය.

කොතරම් අමාරුකම් පැවැතිය ද රජයක් වශයෙන් ප්‍රශ්න තිබුණ ද ඒවා අවම කර ගනිමින් පසු අවුරුදු පහක කාලය තුළ අධ්‍යාපනයේ විශාල වෙනස්කම් රැසක් සිදු කරන ලද බව පැවසූ අමාත්‍යවරයා  “ළඟම පාසල හොඳම පාසල” -  වැඩසටහන යටතේ ව්‍යාපෘති 18,000 ක් ක්‍රියාත්මක වුණා. ගොඩනැගිලි 2,000 ක් පමණ ලබා දුන්නා. ඩිජිටල් පන්ති කාමර සහිත කුරුණෑගල විශ්වෝදා වැනි පාසල් ආරම්භ කළා. මීරිගම දී එවැනි පාසලක ට ඉකුත්දා මුල්ගල තැබුවා. පේරාදෙණියේ එවැනි පාසලක් ආරම්භ කරනවා. කොළඹ තවත් පාසල් හතරක් ආරම්භ වෙනවා. භෞතික සම්පත පමණක් නොව මානව සම්පත ද නොඅඩුව ලබා දුන්නා.  මෙකල තරම් විධිමත් ක්‍රමයකට බඳවා ගැනීම් මීට ඉහත සිදු කර නැහැ. විද්‍යාපීඨ සඳහා 2015 දී බඳවා ගත්තේ 3,000 ක් පමණයි. විද්‍යාපීඨ දහනවයේ ම නේවාසිකාගාර ඇතුලු පහසුකම් සම්පූර්ණ කර මෙවර බඳවා ගන්නා සංඛ්‍යාව 8,000 දක්වා වැඩි කළා. ලබන වසරේ ද 8,000 ක් බඳවා ගත හැකියි. විද්‍යාපීඨ සිසු දීමනාව 3,500/- සිට 5,000/- දක්වා වැඩි කළා. ක්‍රීඩා පුහුණුකරුවන් 3,888 ක් බඳවා ගෙන පුහුණුවෙන් පසු පාසල්වලට පත් කළා.

“අනාගත ආයෝජනයක් වශයෙන් සලකා තරුණ විදුහල්පතිවරුන්, ගුරු අධ්‍යාපනඥයන් හා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් ද ඇතුලු දෙදහසකට වැඩි පිරිසකට විදේශ පුහුණුව ලබා දුන්නා. විභාග දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දුන්නා”

“ප්‍රථම වරට පාසල් සිය ගණනක ඩිජිටල් පන්ති කාමර ආරම්භ කිරීමට කටයුතු කළා. විශ්වෝදා පාසල් හැම එකකම ඩිජිටල් පන්ති කාමර තිබෙනවා. ජාතික පාසල්වල උසස් පෙළ සිසුනට හා ගුරුවරුන්ට ලබාදීම සඳහා ටැබ් පරිගණක ආනයන කටයුතු සිදුවීමට ඉතා ආසන්නයි” යනුවෙන් ද අමාත්‍යවරයා පැවසුවේය.

අධ්‍යාපනයේ සිදුවන මෙම පරිවර්තනයට මුහුණදීම සඳහා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් සූදානම් විය යුතු බවත්, හොඳ ගුරුවරයෙකුගේ හෝ විදුහල්පතිවරයකුගේ හෝ කාර්යභාරය දරුවන් විභාග සමත් කරවීම පමණක් නොවන බවත්, මනුස්සකම හා අපේකම පවතින, දේශීය වුවත් විදේශීය වුවත් හොඳ යහපත් දේ පමණක් උකහාගත හැකි දරු පරපුරක් බිහි කළ හැකි සංකලනයක් වශයෙන් ගුරුවරයා හැඳින්වීමට හැකි බවත්, ගුරුවරයා බොහෝ විෂයයන් පිළිබඳ ඇසූ පිරූ තැන් සහිත පුද්ගලයන් විය යුතු බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

“ලොව ශ්‍රේෂ්ඨතම වෘත්තිය ගුරු වෘත්තිය යැයි ද අනෙකුත් වෘත්තිකයන් බිහි කළ හැක්කේ ගුරුවරයෙකුට පමණකැයි ද” අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

  • · ශිෂ්‍යාධාර දීමනාව ද රුපියල් 750ක් දක්වා ඉහළට...

            පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයෙන් කඩඉම් ලකුණ ඉක්මවූ තවත් සිසුන් 5,000කට ශිෂ්‍යාධාර ලබාදීමට අදාළ කැබිනට් මණ්ඩල යෝජනාවට මේ වනවිට අනුමැතිය හිමි ව තිබේ. මෙසේ ශිෂ්‍යාධාර ලබාදීමේ සිසුන් සංඛ්‍යාව වැඩි වී ඇත්තේ වසර 11කට පසුව වීම ද  විශේෂත්වයකි. 

මෙතෙක් එම ශිෂ්‍යාධාර සිසුන් 15,000කට පමණක් හිමි වූ අතර, 2019-08-13 දින අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සටහනකට අනුව, අරමුදල් ලබාදෙන සිසුන් සංඛ්‍යාව 20,000 දක්වා ඉහළ නැංවීමට අනුමැතිය හිමි වී ඇත.

ඒ අනුව, 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ම මෙම ශිෂ්‍යාධාර මුදල අදාළ සිසුන් වෙත හිමි වන අතර නිදහස් අධ්‍යාපන අවස්ථා තවදුරටත් පුළුල් කරමින් ආර්ථික දුෂ්කරතා සහිත සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය ශක්තිමත් කරලීමට මෙමගින් මහත් පිටුබලයක් සැලසෙයි.

 මෙහි විශේෂත්වයක් වන්නේ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින,  විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට ද මෙම ශිෂ්‍යාධාර අරමුදල් ලබා ගැනීමට අවස්ථාවක් සම්පාදනය කොට තිබීමයි. එනම්, ශිෂ්‍යාධාර ලබාදීමට නියමිත සිසුන් 20,000 අතරින් සිසුන් 250ක් තෝරාගැනෙනුයේ, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගෙනි.

රටේ සියලු දරුවන්ට ගුණාත්මක අධ්‍යාපන අවස්ථා ලබාදීම වෙනුවෙන් රජය විවිධ පියවර රැසක් ක්‍රියාවට නංවා ඇති අතර, ශිෂ්‍යාධාර අරමුදල් ලබාදෙන ශිෂ්‍ය සංඛ්‍යාව  ඉහළ නැංවීම මෙන්ම ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 500/- සිට 750 දක්වා ඉහළ නැංවීමට ද පියවර ගෙන ඇත. ඉහළ නංවන ලද මෙම ශිෂ්‍යාධාර දීමනාව 2019 ජනවාරි මස පළමුවෙනිදා සිට ගෙවීමට අනුමැතිය හිමි වී ඇති අතර ඒ අනුව ජනවාරි මස සිට නියමිත හිඟ මුදල් ගෙවීමට අවශ්‍ය අමතර ප්‍රතිපාදන ලෙස රජය රුපියල් මිලියන 300ක් වෙන්කර ඇත.   

            පසුගිය වර්ෂවල දී සිදුවූයේ  ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු ඉක්මවූවන්ගේ දෙමව්පිය ,භාරකරුගේ මාසික ආදායම් සීමාව රු 4,500 නොඉක්මවන අවස්ථාවල දී අදාළ ශිෂ්‍යාධාර අරමුදල ලබාදීමයි. එහෙත්, ‍2019-‍09-11 දින හිමි වූ කැබිනට් අනුමැතිය අනුව, එම ආදායම් සීමාව රු 15,000/- ලෙස සංශෝධනය කර ඇත.

එමෙන් ම, 2019 වර්ෂයෙන් පසු එළඹෙන  ඉදිරි වර්ෂවල දී ශිෂ්‍යාධාර ලබාදිමේ දී දෙමව්පියන්ගේ හෝ භාරකරුවන්ගේ මාසික ආදායම් සීමාව තීරණය කිරීමේ බලය ද , අධ්‍යාපන ලේකම්වරයාට මෙම කැබිනට් පත්‍රිකාව මගින් හිමි වී ඇත.

"මිනිස්සු දන්නවා පරණ සෙල්ලම්..එකම කාසියේ දෙපැත්තයි මේ .." එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා

Search