නවතම පුවත්

'ළඟම පාසල හොඳම පාසල වැඩසටහන' යටතේ ගිරිඋල්ල ශ්‍රී රාහුල මධ්‍ය මහා විද්‍යාලයේ නව ශ්‍රවණාගාරය විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අයුරු.

අධ්‍යාපන අමාත්‍යනීතීඥ අකිල විරාජ් කාරියවසම්

ගතවූ වසර කිහිපය තුළ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විශාල වැඩකොටසක් සිදුකරන්නට හැකිවූ බවත්,  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගෙන් ලැබුණු මගපෙන්වීම හා නායකත්වය ඒ සඳහා විශාල පිටුබලයක් වූ බවත් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

පහසුකම් සපිරි පාසල් පද්ධතියක් රටට දායාද කිරීම අරමුණු කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාවට නැංවෙන ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ  මීරිගම, පස්යාල, දන්සැලේවත්තේ ඉදිකිරීමට යෝජිත දෙවැනි ත්‍රෛභාෂා මිශ්‍ර ජාතික පාසලට මුල්ගල තැබීම වෙනුවෙන් අද (20) පැවති උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

කථානායක කරු ජයසූරිය මහතාගේ විශේෂ ඉල්ලීම මත කැබිනට් අනුමැතිය ලබාගනිමින් ඉදිකෙරෙන මෙම පාසල සඳහා මුල්ගල තැබීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමාට ගෞරවයක් ලෙස දොන් ස්ටීවන් විද්‍යාලය නමින් මෙම පාසල නම්කර තිබේ.  මේ සඳහා රුපියල් මිලියන 1,142 ක මූල්‍ය ආයෝජනයක් සිදුකර ඇති අතර, අක්කර 12 ක භූමි භාගයක ඉදිවන මෙම පාසල 2020 වසරේ දී සිසු අයිතියට පැවරීමට යෝජිත ය.  මෙහි  6 සිට 13 ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වීමට නියමිත අතර සුහුරු පන්ති කාමර ඇතුළු නවීන පහසුකම්වලින් මෙම පාසල සමන්විතවීම විශේෂත්වයකි.

මෙහි දී අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍යවරයා,

ජාතික පාසල් රැසක අතරමැදි පන්තිවල පුරප්පාඩු 45000ක් අපි හඳුනා ගත්තා. පුරප්පාඩු නොතිබුණ පාසල් තිබුණෙ 20ක් වගේ සුළු ප්‍රමාණයක්. දෙමළ මාධ්‍ය පාසල්වල පුරප්පාඩු 15000ක් තිබුණා. ඉදිරි සතියෙදි සම්මුඛ පරීක්ෂණ මගින් පළමු අදියරේ තෝරාගත් සිසුන් 4000ක් අපි පාසල්වලට ඇතුළත් කරගන්නවා. මේවා ගැන මීට පෙර කවුරුවත් අවධානය යොමුකරල තිබුණෙ නෑ... යැයි ද සඳහන් කළේය.

නගරයේ ප්‍රධාන පාසල්වලට පවත්නා තදබදය සහ තරගය  ඉවත් කරමින්  එම පාසල්වල පවත්නා පහසුකම්  සියල්ල සහිත නව ජාතික පාසල් ග්‍රාමීය ප්‍රදේශවලට ලබාදීම වෙනුවෙන් ළඟම පාසල හොඳම පාසල සංවර්ධන වැඩසටහන යටතේ නව ජාතික පාසල් ඉදිකිරීමට පියවර ගත් බවත්, මේ යටතේ පළමු ත්‍රෛභාෂා ජාතික පාසල කුරුණෑගල මගුරුඔයවත්තේ ආරම්භ කළ බවත්, ඉදිරියේ දී පේරාදෙනිය විශ්වවිද්‍යාල පරිශ්‍රයෙහි මෙවැනි තවත් නව ජාතික පාසලක් සහ කොළඹ දිස්ත්‍රික්කයේ තවත් ජාතික පාසල් 4ක් ද ඉදිකිරීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහි දී අදහස් පළ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, මහාමාන්‍ය ඩී එස් සේනානායක අගමැතිතුමාගෙ කාලෙ මීරිගමට මධ්‍ය මහා විද්‍යාල දෙකක් ලබාදුන්නා. අද ඒ වාර්තාව අලුත් කරල කරු ජයසූරිය මැතිතුමා ඩී එස් සේනානායක මැතිතුමා වෙනුවෙන් භාෂා තුනෙන් ම කටයුතු කරන පාසලක් විදියට මේ පාසල ආරම්භ කිරීමට කටයුතු කිරීම අගය කළ යුතුයි. මේ ප්‍රදේශයට මෙවැනි පාසලක් වුවමනායි. වැඩියෙන් ම සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට මුදල් වියදම් කළේ මේ ආණ්ඩුව..මීට පෙර ලංකා ඉතිහාසයේ මෙහෙම ගොඩනැගිලි ලබාදීල නෑ. දැන් අපට ඉන්නේ ගුරු සේවයේ පුහුණු ගුරුවරු. විදුහල්පතිවරුන් උසස්වීම් ලබන්නෙ විභාගවලින්. වසර 13ක් සියලු ම සිසුන් අධ්‍යාපනය ලබනවා. විශාල උනන්දුවක් අරගෙන අධ්‍යාපන අමාත්‍ය අකිල කාරියවසම් මැතිතුමා නායකත්වය ලබාදීම නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් ලැබිල තියෙනවා “ යයි සඳහන් කළේය.

කතානායක කරු ජයසූරිය මැතිතුමන්, අමාත්‍යාංශයේ ලේකම් එම් එන් රණසිංහ, අතිරේක ලේකම් ළඟම පාසල අධ්‍යක්ෂ පද්මනාදන් කුරුණෑගල වැවිලි සමාගමේ සභාපති පියසෝම උපාලි,  මීරිගම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති උදේන විජේරත්න යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

ළගම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් මීරිගම ප්‍රෙද්ශයේ අලුතින් ඉදි කෙරෙන ශ්‍රී ලංකාවේ ත්‍රෛභාෂා අධ්‍යාපනය සහිත දෙවන මශ්‍ර පාසලට මුල්ගල තැබීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (20) සිදුකෙරේ.
කථානායක කරු ජයසූරිය මහතාගේ ඉල්ලීම මත ඉදිකෙරෙන මේ පාසල නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩි.එස් සේනානායක මැතිදුන්ට ගෞරවයක් ලෙස දොන් ස්ටීවන් විද්‍යාලය නමින් නම් කෙරේ.මේ සඳහා ආයේජනය කරන මුදල රුපියල් මිලියන 1,141කි.
අක්කර 12ක භූමි භාගයක ඉදිවන මේ පාසල 2020දී සිසු අයිතියට පැවරිමට යෝජිතය.

ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ඉදි කළ කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ශ්‍රවණාගාරය සිසු අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවූ මොහොත..

දැයේ දරුවන්ගේ සුවහසක් අනාගත අපේක්ෂාවන් අධ්‍යාපනය තුළින් ඉටුකරලීම සඳහා “ළඟම පාසල හොඳම පාසල” බවට පත් කරන්නට අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ගනු ලබන විවිධ පියවර අතර තවත් එක් සුවිශේෂී අවස්ථාවක් ලෙස නව ත්‍රෛභාෂා පාසලක් ඉදි කිරීමට මුල්ගල තැබීම අද ( 20 ) මීරිගම දී සිදු කෙරුණා.

කථානායක කරු ජයසූරිය මහතාගේ ඉල්ලීම මත ඉදිකෙරෙන මෙම පාසල සඳහා මුල්ගල තැබීම සිදු කරන ලද්දේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමාට ගෞරවයක් ලෙස දොන් ස්ටීවන් විද්‍යාලය නමින් මෙම පාසල නම් කෙරෙන අතර මෙය අයත් වන්නේ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයටය.

“ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ ඉදි කරන ශ්‍රී ලංකාවේ දෙවැනි ත්‍රෛභාෂා අධ්‍යාපනය සහිත මිශ්‍ර පාසල වන මේ සඳහා ආයෝජනය කරන මුදල රුපියල් මිලියන 1,142 කි.

අක්කර 12 ක භූමි භාගයක ඉදිවන මෙම පාසල වර්ෂ 2020 දී සිසු අයිතියට පැවරීමට යෝජිතය. මෙහි 6 සිට 13 ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වීමට නියමිත අතර සුහුරු පන්ති කාමර ඇතුලු නවීන පහසුකම්වලින් මෙම පාසල සමන්විතවීම විශේෂත්වයකි.

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම වඩාත් විධිමත් ව හා විනිවිදභාවයෙන් සිදුකිරීමට පියවර ගැනීම සඳහා ඉතිහාසයේ ප්‍රථමවරට පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව ප්‍රසිද්ධියට පත්කරන ලෙස  අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පසුගිය දා අමාත්‍යාංශ නිලධාරීන්ට ලබාදුන් උපදෙස් අනුව, සිසුන් 44,568කට ජාතික පාසල්වලට ඇතුළත් වීමට අවස්ථාව සැලසී තිබේ.

මීට අදාළ ව දිවයින පුරා පිහිටි ජාතික පාසල්වල 1,5,6, සහ 11 ශ්‍රේණි හැර අතරමැදි ශ්‍රේණිවල පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව සහ බඳවාගැනීමේ ක්‍රමවේදය 2019-07-03 වැනි දින ජාතික පුවත්පත් මගින් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk වෙබ් අඩවිය මගින් සිංහල හා දෙමළ මාධ්‍යයන්ගෙන් ප්‍රසිද්ධියට පත්කරන ලද අතර, පුරප්පාඩු පවත්නා ඕනෑම ජාතික පාසලක් වෙත අයදුම්පත් යොමු කිරීමට එමගින් අවස්ථාව ලබාදෙන ලදී.

මෙහි විශේෂත්වය වූයේ, බඳවාගැනීමේ ක්‍රමවේදයට අදාළ නිර්ණායක අනුව අයදුම්කරුවන්ටම සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීමට පෙර, තමාට හිමිවන ලකුණු සංඛ්‍යාව දැනගැනීමට අවස්ථාව සලසා තිබීමයි. මෙම අවස්ථාව නිසා සිසුන් ඇතුළත් කිරීමේ දී සිදුවිය හැකි අක්‍රමිකතා වැළකෙන අතර, නියමිත සුදුසුකම් සපුරන අයදුම්කරුවන්ට පමණක් අදාළ පාසල් වෙත ඇතුළත් වීමට ඉඩප්‍රස්ථාව සැලසේ.

මේ අනුව, සිංහල මාධ්‍ය සිසුන් 25,419 දෙනෙකුටත්,  දෙමළ මාධ්‍ය සිසුන් 19,149 දෙනෙකුටත් දිවයින පුරා ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට සැලසීමට හැකිවීම බොහෝ අභියෝග මැදින් ලබාගත් ප්‍රශස්ත ජයග්‍රහණයක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

 

නිට්ටඹුව, ශ්‍රී සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කිරීමේ උත්සවයට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ කාරියවසම් මහතා අද සහභාගී විය.


- අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

ගතවූ වසර හතරහමාරක කාලය තුළ මේ රටේ අධ්‍යාපනය නගාසිටුවීම වෙනුවෙන් හැකි උපරිම ක්‍රියාමාර්ග ගත් බව අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකෙරෙන ගෘහස්ත ක්‍රීඩාගාරය, පිහිනුම් තටාක සංකීර්ණය, දන්ත ශල්‍යාගාරය හා ශ්‍රවනාගාරය විවෘත කිරීම සහ තෙමහල් පන්තිකාමර ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම වෙනුවෙන් (19) වෙනිදා පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

තමා අධ්‍යාපනය ලැබූ පාසල වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් පැමිණ යමක් කරන්නට හැකිවීම පිළිබඳ විද්‍යාලයේ ආදිශිෂ්‍යයකු ලෙසත්, රටේ අධ්‍යාපන ඇමති ලෙසත්, ප්‍රදේශයේ දේශපාලන නායකයෙකු ලෙසත් බොහෝ සතුටට පත්වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහි දී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා,“ ජනාධිපතිවරයා වෙන පක්ෂෙක.. පළාත් සභා වෙන පක්ෂෙක. අපි වැඩ කළේ බහුතරයක් සිටි ආණ්ඩුවක නෙමෙයි. ඒත් අපි ඉතා විශාල වැඩ ගොඩක් කළා. ළඟම පාසල - හොඳම පාසල මගේ සංකල්පයක්. අපි ඇවිදගෙන පාසලට ගිය අය. ඒත් අද වගේ වෙහෙසකර විදියට නෙමෙයි අපි අධ්‍යාපනය ලැබුවෙ. නගරයෙ තියෙන පහසුකම් ගමේ පාසල්වලට දෙන්න අපි තීරණය කළේ ඒකයි. එදා මං අමාත්‍යවරයා හැටියට වැඩ පටන්ගන්න කොට මේරටේ පාසල්වලින් විදුලිය තිබුණෙ සියයට 60කට. අද සියයට 98ක් පාසල්වලට විදුලිය තියෙනවා. පහසුකම් අඩු පාසල් 3000කට ජංගම විද්‍යාගාර කට්ටල ලබාදීලා තියෙනවා. අනාගතය දෙස බලමින් දරුවන් වෙනුවෙන් ඩිජිටල් පන්ති කාමර ඇතිකරල තියෙනවා. ඩිජිටල් ගුරුවරුන් ලබාදීලා තියෙනවා. දැනුම වේගයෙන් වෙනස් වෙනවා මේ කාලේ. නව තාක්ෂණයත් එක්ක අපි ඉදිරියට යා යුතුයි. ඔක්කොම බැනුම් අහගෙන මේවා කරන්නෙ ඒකයි“ යනුවෙන් පැවසීය.

පාසල් විෂයමාලා යුගයේ අවශ්‍යතාවන්ට ගැළපෙන සේ වෙනස් කිරීමට පියවර ගෙන ඇති බව ද, සියලු විභාග ක්‍රමවත් ව විධිමත් ව පවත්වාගෙන යාහැකි පරිදි විභාග දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යූහගත කළ බවද, සුරක්ෂා රක්ෂණය හඳුන්වාදෙමින් රටේ සෑම දරුවෙක් ම රක්ෂණය කළ බවද, වෘත්තීය විෂයයන් 26ක් යටතේ උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හඳුන්වාදෙමින් නව ලොව රැකියා අවස්ථා සඳහා දරුවන්ට ඉඩ ප්‍රස්ථා සකස් කරදුන් බව ද මෙහි දී වැඩිදුරටත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එමෙන් ම ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් 6000කට ආසන්න පිරිසක් පද්ධතියට එක්කරගැනීමටත්, විදුහල්පතිවරුන් සහ පරිපාලන සේවයේ නිලධාරීන් 2000කට වැඩි පිරිසක් වෙත විදේශ පුහුණුව අවස්ථා ලබාදුන් බව ද, ඉදිරියේ දී ගුරු අධ්‍යාපනඥ සේවයට අලුතින් නිලධාරීන් 1500ක් බඳවාගැනීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.

තවදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා “ මේ රටේ කලාප 98ක් තියෙනවා. එයින් 40ක ගුරු පුහුණු මධ්‍යස්ථාන තිබුණෙ නෑ . අපි අලුතෙන් ම අධ්‍යාපන කලාප 40ක ගුරු පුහුණු මධ්‍යස්ථාන හැදුවා. ඉස්සර විද්‍යාපීඨවලට අවුරුද්දකට ගත්තෙ 3000ක් විතර ගත්තෙ. අපි මේ පාර 8000ක් එකවර බඳවගන්නවා. තව අවුරුදු කිහිපයක් තුළ මේ රටේ ගුරු හිඟයක් ගැන හිතන්න වෙන්නෙ නෑ. මිලියන 3000ක මූල්‍ය ආධාර යටතේ අපි ජාතික තාක්ෂණ අධ්‍යාපන පීඨයක් හැදුවා. අධ්‍යාපනයේ ගුණාත්මකබව වැඩිකරන්න අවශ්‍ය වැඩකටයුතු තමයි අපට ඉස්සරහට කරන්න තියෙන්නෙ”යැයි ද පැවසීය.

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල පැවති පුරප්පාඩු 45000ක් හඳුනාගනිමින් පුවත්පත් දැන්වීමක් මගින් එම පුරප්පාඩු ප්‍රසිද්ධ කර මේ වනවිට දරුවන් ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය සේවා සත් සාමාජික රග්බි ශූරතාව හිමි කරගැනීමට මෙවර අධ්‍යාපන අමාත්‍යාංශයේ රග්බි කණ්ඩායම සමත් ව ඇති අතර, ඔවුන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හමුවිය.

අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ දී ඉකුත් දා පැවති අවසන් මහා තරගයේ දී අධ්‍යාපන අමාත්‍යාංශ කණ්ඩායම ලකුණු 26-0 ක් ලෙස ප්‍රතිවාදි රේගු අධිකාරියේ කණ්ඩායම පරාජයට පත්කිරීමට සමත්ව ඇත.

අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ මගපෙන්වීම යටතේ පාසල් ක්‍රීඩාව ශක්තිමත් කිරීම වෙනුවෙන් ප්‍රායෝගික ව දායක කරගැනීම වෙනුවෙන් පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් 3888ක් පාසල් පද්ධතියට බඳවා ගන්නා ලද අතර, රග්බි ක්‍රීඩාවෙහි ජාතික මට්ටමේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන්ගෙන් මෙම සත් සාමාජික කණ්ඩායම සමන්විත විම විශේෂත්වයකි.

කේ.ජී.එම්.ජී සෝමරත්න මහතාගේ නායකත්වයෙන් තරග කළ මෙම කණ්ඩායමේ ආර්.අසංක ලක්මාල් මහතා තරගයේ දක්ෂත ම ක්‍රීඩකයා විය. නන්දසේන චතුරංග මහතා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.

අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී ජයග්‍රාහී කණ්ඩායමට සුබ පැතුම් එක් කළා.

 
 

ලංකා විදුහල්පති සේවයේ 111 වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන පත්වීම්ලිපි ප්‍රදානෝත්සවය ශ්‍රීලංකා විදුහල්පති සේවයේ 111 වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා 2019.09.21 දින අරලියගහමන්දිරයේ දී පැවැත්වීමට නියමිතව තිබූ පත්විම් ලිපි ප්‍රදානෝත්සවය එදිනටනොපැවැත්වෙන බැවින්, මේ පිළිබඳව යාවත්කාලීන තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lkනිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.

ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ රුපියල් මිලියන 21ක වියදමින් ඉදි කළ බිබිලාදෙනිය ගුණානන්ද මධ්‍ය මහා විද්‍යාලයේ දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට..

ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ කුලියාපිටිය බිබිලාදෙනිය ගුණානන්ද මධ්‍ය මහා විද්‍යාලයේ ඉදි කළ දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා අතින් අද (19) සිදු වුණා.

මේ සඳහා අධ්‍යාපන අමාත්‍යංශය වැය කළ මුදල රුපියල් මිලියන 21ක්.

ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ ඉදිකිරීම් ක්‍රියාවලිය තුළ කිසියම් අක්‍රමිකතාවක්, මූල්‍ය අවභාවිතයක්, වංචාවක් හෝ නිසි ප්‍රමිතියට සිදු නොකිරීම සම්බන්ධ කිසියම් පැමිණිල්ලක් හෝ ගැටළුවක් වෙතොත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ ප්‍රධාන ව්‍යාපෘති ඉංජිනේරුවරයාට එම පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ ප්‍රධාන ව්‍යාපෘති ඉංජිනේරුවරයාගේ 0112786768 දරන දුරකථන අංකයට ඇමතීමෙන් හෝ ප්‍රධාන ව්‍යාපෘති ඉංජිනේරු, ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති කාර්යාලය, 7 වැනි මහල, ඉසුරුපාය, බත්තරමුල්ල යන ලිපිනය මගින් අදාළ පැමිණිලි යොමු කළ හැකිය.

විවිධ දේශපාලන න්‍යාය පත්‍ර අනුව පෞද්ගලික අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් වෙහෙසෙන ඇතැම් පාර්ශවකරුවන්ට ළඟම පාසල හොඳම පාසල වැනි දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයන්හි සැබෑ ප්‍රතිලාභ හඳුනාගත නොහැකි අතර, ඇතැම්  පුවත්පත් සහ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය යොදාගනිමින් මෙම වැඩසටහන මගින් ඉදිකෙරෙන පාසල් සම්බන්ධ විවේචන සිදුකරන්නේ ද, වරින්වර පදනම් විරහිත චෝදනා එල්ල කරන්නේ ද, දරුවන්ගේ අනාගතය දෙස සුබවාදී ව දකින්නට අපොහොසත් වූවන් ය.

පහසුකම් සපිරි පාසල් පද්ධතියක් රටපුරා ස්ථාපිත කරමින් වඩාත් ගුණාත්මක අවස්ථා සියලු දරුවන් වෙත ළඟා කරවීමේ අරමුණින් හඳුන්වාදෙන ලද විශාලතම පාසල් සංවර්ධන වැඩසටහන ළඟම පාසල හොඳම පාසල වන අතර, ඒ යටතේ දිවයිනේ ජාතික හා පළාත් පාසල් 9,064ක් තුළ වැඩ ව්‍යාපෘති 18,000ක් යටතේ රුපියල් මිලියන 65,000ක මූල්‍ය ආයෝජනයක් මගින් භෞතික, යටිතල පහසුකම් හා මානව සම්පත් සංවර්ධනයට කටයුතු කරනු ලැබේ.

මේ යටතේ භෞතික හා මානව සම්පත් සංවර්ධනය සඳහා තෝරාගෙන ඇති පළාත් පාසල් සංඛ්‍යාව 8,782කි. ජාතික පාසල් සංඛ්‍යාව 282කි. මේ වනවිට ඉදිකිරීම් කටයුතු අවසන් කොට විවෘත කර ඇති පාසල් ගොඩනැගිලි සංඛ්‍යාව අතරින් නව ගොඩනැගිලි  950ක් එකවර අදියර තුනක දී සිදුකරන ලද  විවෘත කිරීම් ලෙස සිසු අයිතියට පත් කෙරිණි. ( පළමු අදියර 200ක්, දෙවැනි අදියර 250ක්, තෙවැනි අදියර 500ක් වශයෙන්)

මේ වනවිට (2019 අගෝස්තු 31 දින වනවිට) සංවර්ධන අවශ්‍යතා සඳහා පාසල් වෙත රුපියල් මිලියන 35,539ක මූල්‍ය ප්‍රතිපාදන මුදාහැර ඇත.  ඒ අනුව, 2016-2020 දක්වා සිවුවසරක ව්‍යාපෘති කාල රාමුව තුළ ක්‍රියාවට නැංවෙන ළඟම පාසල හොඳම පාසල වැඩසටහනෙහි සමස්ත මූල්‍ය ප්‍රතිපාදනයෙන් 65%ක් මේ වනවිටත් පාසල් පද්ධතිය වෙත නිකුත් කර අවසන් ය. ආරම්භ කර ඇති සමස්ත ව්‍යාපෘති අතරින් 82%ක වැඩ අවසන් කර ඇත.

මෙම වැඩසටහනට පාසල් තෝරාගැනීම සිදුකරනු ලැබුවේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබාදෙන ලද නිර්ණායක මත පදනම් ව, සංවර්ධන අවශ්‍යතා දැඩි ව පවත්නා පාසල් කෙරෙහි ප්‍රමුඛතාව ලබාදෙමින් පළාත් සහ කලාප අධ්‍යාපන කාර්යාලවල සංවර්ධන හා සැලසුම් අධ්‍යක්ෂවරුන් මගිනි.

මෙම සංවර්ධන වැඩසටහන සඳහා මධ්‍යම රජය විසින්  විසින් අදාළ එක් එක් පළාත් පාසල් වෙත මූල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීමෙන් අනතුරුව, ටෙන්ඩර් කැඳවීමේ සිට සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලිය පළාත් ප්‍රධාන ලේකම්වරුන්ගේ පූර්ණ මැදිහත්වීම මත සිදුකෙරේ. ගොඩනැගිලි ඉදිකිරීමේ දී නියමිත ප්‍රමිතියට අනුකූලව ඉදිකිරීම් සිදුකරන්නේ ද, කොන්ත්‍රාත්කරුවන් විසින් වැඩ ප්‍රමාද කිරීම, තත්වයෙන් උසස් අමුද්‍රව්‍ය යොදා නොගැනීම ඇතුළු ක්‍රියාවලියෙහි යම් දෝෂයක්, අක්‍රමිකතාවක් හෝ මූල්‍ය වංචාවක් සිදුවන්නේ ද යන්න පිළිබද වගකීම පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත පැවරෙයි. මෙම සංවර්ධන ක්‍රියාවලියේ දී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් රේඛීය අමාත්‍යාංශය සහ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ අවබෝධතා ගිවිසුමකට ද එළඹ සිටී.

එමෙන් ම මෙම වැඩසටහන යටතේ එක් එක් පාසල්වල ගොඩනැගිලි ඉදිකිරීම්, අලුත්වැඩියාකිරීම්, යටිතල පහසුකම් සංවර්ධන කටයුතු ඇතුළු සමස්ත සංවර්ධන ක්‍රියාවලිය සිදුකෙරෙන ආකාරය පිළිබඳ අධීක්ෂණය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සෑම අධ්‍යාපන කාර්යාලයක ම තාක්ෂණ නිලධාරීන් පත්කර සිටියි. පළාත්, සහ කලාප මට්ටමින් අපේක්ෂිත සංවර්ධන ඉලක්ක ඉටු නොවන්නේ නම් ප්‍රධාන ව්‍යාපෘති ඉංජිනේරුවරයා වෙත දැනුම්දීමට අවස්ථාව සලසා ඇත්තේ මෙම ව්‍යාපෘතියෙහි අවසන් සංවර්ධන ප්‍රතිලාභ දරුවන් වෙත නිවැරදිව ළඟාකරවීම ප්‍රමුඛ කාර්යයක් වන හෙයිනි.

ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ පාසල් සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය මඟින් ගතවූ දින 1200කට ආසන්න කාලය (වසර තුන හමාරකට) තුළ මෙරට පාසල් පද්ධතියට තුළ සුහුරු පන්තිකාමර, දෙමහල් තෙමහල් ගොඩනැගිලි, ගුරු විවේකාගාර, විදුහල්පති නිල නිවාස, ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන, පරිගණකාගාර, සෞන්දර්ය ඒකක, ක්‍රීඩා සංකීර්ණ, ඇතුළු නව ගොඩනැගිලි 1400කට අධික ඉදිකිරීම්, 5000කට ආසන්න ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම් මෙන් ම ජලය, විදුලිය සනීපාරක්ෂාව ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනයටත්, ගුරුවරුන් හා විදුහල්පතිවරුන් වෙත දේශීය හා විදේශීය පුහුණු අවස්ථා සම්පාදනය කරදීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සංවර්ධනයටත් දැවැන්ත මෙහෙවරක් ඉටු කර තිබේ.

Search